2025 දෙසැම්බර් 12 වන දින අත්සන් කරන ලද ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම බලාත්මක වීමේ විධිවිධානවලට අනුකූලව (අවසන් වරට අපරානුමත කිරීමෙන් දින 60ක් ඇතුළත), 2026 අප්‍රේල් 10 දින සිට බලාත්මක වනු ලැබේ.
ඒ අනුව, රියදුරු බලපත්‍ර පරිවර්තනය කරීමට අදාල අයදුම්පත්‍ර රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මෙන්ම මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයට (Lombardy, Friuli Venezia Giulia, Liguria, Piedmont, Trentino Alto Adige, Valle d’Aosta , Veneto යන පළාත්වල (Regions) පදිංචි ශ්‍රී ලාංකිකයින් සදහා) 2026 අප්‍රේල් මස 10 වැනි දින සිට ඉදිරිපත් කළ හැකිය.
මෙම රියදුරු බල පත්‍ර පරිවර්තනයට අදාල ක්‍රියා මාර්ගය සදහා කිසිදු අතරමැදියෙකු පත් කර නැති බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මිලාන්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය (Italian Motorizzazione) හැර වෙනත් පාර්ශව සම්බන්ධ කර නොගන්නා ලෙසත් එවැනි පාර්ශව සම්බන්ධ කර ගැනීමෙන් සිදුවන අකටයුතු සම්බන්ධව මෙම තානාපති කාර්යාලය වග කියනු නොලබන බවත් කාරුණිකව දන්වා සිටිමු.
වසර හයකට (06) අඩු කාලයක් ඉතාලියේ නීත්‍යානුකූලව පදිංචිව සිටින පුද්ගලයින් පමණක් මෙම පරිවර්තනය සඳහා සුදුසුකම් ලබයි. ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය ඉතාලියේ නීත්‍යානුකූල පදිංචිය ලබා ගැනීමේ දිනයට පෙර ලබා ගත් රියදුරු බලපත්‍රයක් විය යුතුය.
2026 අප්‍රේල් 10 වන දිනට පදිංචිය වසර හයක් (06) ඉක්මවූ ඕනෑම පුද්ගලයෙකු ගිවිසුම යටතේ පරිවර්තනය සඳහා සුදුසුකම් නොලබයි.
උදාහරණ: 1
පුද්ගලයෙකු 2020.05.01 දින වෙරෝනා හි ඔහුගේ/ඇයගේ පළමු නීත්‍යානුකූල පදිංචිය (උදාහරණයක් ලෙස) ලබාගෙන ඇත්නම්, ඔහු/ඇය 2026.05.01 දිනට පෙර තානාපති කාර්යාලයට සහ ඉතාලි බලධාරීන් වෙත පැමිණෙන තාක් කල්, ඔහු/ඇය අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
උදාහරණ: 2
යම්පුද්ගලයෙකු 2018.05.01 දින පෙසාරෝ හි ඔහුගේ/ඇයගේ පළමු නීත්‍යානුකූල පදිංචිය ලබාගෙන තිබේ නම් (උදාහරණයක් ලෙස), වසර 06 ක කාල සීමාව ගෙවී ගොස් ඇති බැවින් ඔහු/ඇය මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබයි.
ඉදිරිපත් කළ යුතු ලියකියවිලි
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
ශ්‍රී ලංකාවේ වලංගු විදේශ ගමන් බලපත්‍රය සහ 2, 3, 4 සහ 5 පිටුවල පිටපත්.
ශ්‍රී ලංකාවේ වලංගු රියදුරු බලපත්‍රය (DL) සහ විශාලනය කරන ලද ඡායා පිටපත් 02 (රියදුරු බලපත්‍රයේ ඉදිරිපස සහ පිටුපස පැති එකම පිටුවේ පිටපත් කළ යුතුය). රියදුරු බලපත්‍රය අලුත් කිරීමට හෝ සංශෝධනය කිරීමට දැනටමත් තනාපති කාර්යාලයට ලබා දී ඇත්නම්, කරුණාකර අදාල ගාස්තු ගෙවන ලද රිසිට් පතෙහි මුල් පිටපතක්, එහි ඡායා පිටපතක් සහ කල් ඉකුත් වූ හෝ සංශෝධනය කිරීමට ඉදිරිපත් කරන ලද රියදුරු බලපත්‍රයේ පිටපතක් සමඟ ඉදිරිපත් කරන්න.
වලංගු ඉතාලි පදිංචි බලපත්‍රය (Permisso Di Soggiorno) සහ එහි පිටපතක් (ඉදිරිපස සහ පිටුපස). කල් ඉකුත් වී ඇත්නම් අයදුම්පත සමඟ එහි අලුත් කිරීමේ කුවිතාන්සිය (කොට කොලය) ද ඉදිරිපත් කළ හැකිය.
වලංගු ඉතාලි හැඳුනුම්පත සහ එහි පිටපතක් (ඉදිරිපස සහ පිටුපස).
ශ්‍රී ලංකාවෙන්, ඉතාලියට සංක්‍රමණය වූ දිනය පිළිබඳ පැහැදිලි ඇඟවීමක් සහිත “Historical certificate of residence” සහතිකය (ITA = certificato di residenza storico Italiano).
විදේශ ගමන් බලපත්‍රයේ දත්ත සහ රියදුරු බලපත්‍රයේ ඇති දත්ත අතර කිසියම් විෂමතාවයක් තිබේ නම්, රියදුරු බලපත්‍රය පරිවර්තනය කිරීමේදී අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා කොන්සියුලර් ලිපියක් නිකුත් කිරීමේ අරමුණ සඳහා, ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ එහි පිටපතක් (ඉදිරිපස සහ පිටුපස).
අතින් ලියන ලද අයදුම්පත් යොමු අංකයක් සහිතව, ගෙවීම් සිදු කිරීම සඳහා තානාපති කාර්යාලය විසින් කහ පැහැති රිසිට්පතක් නිකුත් කරනු ඇත (උදාහරණය: ITL/RM/DLC/2026/027).
අයදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් නිකුත් කරන ලද රිසිට්පත (හෝ පිටපතක්) සමඟ, පරිවර්තනය සඳහා ඉතාලි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (ITA = MotorizzazioneCivile) හෝ ACI ඔටෝමොබයිල් සමාජය හෝ රියදුරු පාසල් (ITA = Autoscuola) විමසීම් කළ යුතුය.
තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයේ සත්‍යතාව පිළිබඳව ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සත්‍යාපනය සඳහා විමසීම් සිදු කරනු ඇත.
නිෂ්කාශනය ලැබුණු පසු ඔබට e-mail මගින් එය දැනුම් දෙනු ලබන අතර රියදුරු බලපත්‍ර පරිවර්තනයේ මුල් පිටපත ලබා ගැනීමට පහත විකල්ප වලින් එකක් තෝරා ගත හැකිය:
- රෝමයේ තානාපති කාර්යාලයට පැමිණ ඔබගේ රියදුරු බලපත්‍ර පරිවර්තනයේ මුල් පිටපත ලබා ගත හැකිය;
එසේ නොමැති නම්
- ඔබගේ රියදුරු බලපත්‍ර පරිවර්තනයේ මුල් පිටපත කුරියර් සේවාව හරහා ඉතාලියේ ඔබගේ නිවසට ගෙන්වා ගත හැකිය. මෙම සේවාවට අයදුම්පත තානාපති කාර්යාලයට හෝ මිලාන්හි කොන්සල් ජනරල් කාර්යාලයට ඉදිරිපත් කරන අවස්ථාවේදී යුරෝ 12 ක් ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය වේ.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන අතර, එවැනි අවස්ථා වලදී අයදුම්කරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනිමට සිදුවන බවද දන්වා සිටිනු ලැබේ.
මෙම රියදුරු බල පත්‍ර පරිවර්තනයට අදාල ක්‍රියා මාර්ගය සදහා කිසිදු අතරමැදියෙකු පත් කර නැති බවත්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, මිලාන්හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඉතාලි මෝටර් රථ ප්‍රවාහන ආයතනය (Italian Motorizzazione) හැර වෙනත් පාර්ශව සම්බන්ධ කර නොගන්නා ලෙසත් එවැනි පාර්ශව සම්බන්ධ කර ගැනීමෙන් සිදුවන අකටයුතු සම්බන්ධව මෙම තානාපති කාර්යාලය වග කියනු නොලබන බවත් කාරුණිකව දන්වා සිටිමු.
තානාපති කාර්යාලයීය වෙබ් අඩවිය : www.srilankaembassyrome.org
දුරකතනය හා විද්‍යුත් ලිපිනය : 06.8840801/ slemb.rome@mfa.gov.lk
ෆැක්ස් අංකය : 06 84241670
නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: +94 –11 – 2 269 0122